Monday, June 9, 2014



                     
                    සබරගමු නර්තන සම්ප්‍රදාය 




                                                          ජාතික සංස්කෘතියට අයත්, ඉතාම පැරණි, දු‍ටුවන් ප්‍රිය උපදවන ආකාරයේ නැටුම් කලාවක් වන මෙය මේ ප්‍රදේශයටම සීමා වූවකි. සබරගමු නැටුම් කලාව ගොඩනැගී තිබෙන්නේ මාත්‍රා 05ක නැටුම් මූලික පදනම් කරගෙනය.
1. මුල් මාත්‍රය
2. සින්දු මාත්‍රය
3. ගමන් මාත්‍රය
4. යක්පද මාත්‍රය
5. නාඩගම් මාත්‍රය
එසේම එක් නැටුමක් සම්පූර්ණවීමට නම් කරුණු 07ක් සම්පූර්ණ විය යුතු අතර, ඒවා පහත පරිදිවේ.
1. තානම
2. මාත්‍රය
3. කවිය
4. වට්ටම
5. කලාසම
6.තීරු මානම
7. අඩව්ව

සබරගමු නැටුම් පැවැත්වෙන අවස්ථා




1. විහාර, දේවාලවල කරන ආගමික උත්සව සම්බන්ධ නැටුම්.මෙහිදී මාත්‍රා පහටම අයත් නැටුම් රඟ දැක්වේ.ධාතු පෙරහැර, මහා සංඝයා වැඩමවීම, ඇසළ පෙරහැරේ දේවාභරණ වැඩමවීම යන අවස්ථාවලදීත්, පාන්මඩු, පූනා මඩු, දෙවොල් ගම් මඩු, ගී මඩු, කිරිමඩු, හැල්ලුම් මඩු සඳහාත් මෙම නැටුම් රඟ දැක්වේ.

2. නව ග්‍රහයින්ගෙන් ශාන්තියක් ලබා ගැනීමට කරන තෝත්‍ර.ග්‍රහ දෝෂ, දෙවි දෝෂ, යක්ෂ දෝෂ, හීන් දෝෂ, ආදී දෝෂයන් දුරු කිරීම සඳහා කරනු ලබන බලි යාගයන් මෙයට අයත් වේ. මෙහිදී මුල් මාත්‍රය, සින්දු මාත්‍රය හා යක්පද මාත්‍රයට අයත් කස්තිරම්, තීරු මානම් සහ අඩව්ද අත්‍යාවශ්‍ය වේ.

3. යක්ෂයින් සහ විවිධ භූතයින්ගෙන් වන උවදුරු දුරු කර ගැනීමට කරන තෝත්‍ර.යක්ෂයන්ගෙන් වන උවදුරු දුරු කර ගැනීම සඳහා සිදු කරන මෙම තෝත්‍ර සඳහා යක්පද මාත්‍රයට හා නාඩගම් මාත්‍රයට අයත් නැටුම් වැඩි වශයෙන් යොදා ගනු ලබයි. එහෙත් සමහර අවස්ථාවලදී සින්දු මාත්‍රයද යොදා ගනු ලබයි.

4. මංගල උත්සව අරමුණු කරගෙන විනෝදය සඳහා පවත්වන නැටුම්.


 
                                                              


                                                               මේ අවස්ථාව සඳහා මාත්‍රා නියමයක් නැත. මාත්‍රා පහටම අයත් නැ‍ටුම් කැමති පරිදි ඉදිරිපත් කරනු ලැබේ. සින්දු මාත්‍රයට අයත් නැටුම් මෙහිදී විශේෂයි.සබරගමු නැට්ටුවාගේ ඇඳුම්.බලි ශාන්ති කර්ම සඳහා සුදු සේලය හා රතු රෙදි පටියද ඉන බඳින අතර, නවගුණ වැලක්ද පළඳියි. හිසට ජටාව, කණට කඩුක්කම්, අත්වලට බණ්ඩි වළලු, එක් අතකට අක්මිණියක්ද, අනෙක් අතට පුවක් මල් ඉත්තක්ද ගනියි.

                                  සබරගමු නැටුමේ ඇඳුමද උඩ රට හා පහතරට ඇඳුම් සම්ප්‍රදායට වඩා බෙහෙවින් වෙනස්ය. මෙහි විශේෂය දෙවි ඇඳුමකට සමාන ලෙස නිර්මාණය කිරීමයි. පාදෙකට බඳින රහු කු‍ට්ටම් දෙකෙහිද විශේෂත්වයක් ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් විශාල රහු ගණනාවක් දෙපාවල බැඳ නැටීමට සෑහෙන ශරීර ශක්තියක්ද අවශ්‍යය. මේ නිසා කාලයාගේ ඇවෑමෙන් රහු ප්‍රමාණයෙන් කුඩාවීමත් ගණනින් අඩුවීමත් ‍ඉබේටම සිදු වී තිබේ.
එසේම සබරගමු නැට්ටුවාගේ ඇඳුම ලංකාව හැර වෙනත් රටක නැටුම් සඳහා වූ ඇඳුම්වලට සම්මිශ්‍ර වී නැත.වාදනය.සබරගමු නැටුමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය දවුලය. නැටුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ තිතට, මාත්‍රයට ගැලපෙන පරිදි කරන දවුල් වාදනය තුලය. නැට්ටුවා කොතරම් ප්‍රවීණයෙකු වුවද දවුල නිසිලෙස වාදනය නොකළහොත් නැටුම නියම ලෙස ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.